විහාරමහා දේවිය විසින් කරවන ලද බවට ජන ප්‍රවාදවලින් පැවැසෙන එප්පාවල, කටියාව ප්‍රදේශයේ පිහිටි නවාගල පුරාණ විහාරය මතෛක් බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවූ ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සේම ශාසනික වශයෙන්ද සුවිශේෂ වැදගත්කමකින් යුතු සිද්ධස්ථානයකි. දුටුගැමුණු රජතුමාගේ අග මෙහෙසියක බව පැවැසෙන ‘කතිය’ කුමරියගේ ද කිසියම් සබැඳියාවක් ඇති බවට සාධාරණ ලෙස අනුමාන කළ හැකි පුරාවිද්‍යාත්මක සාක්ෂි පවා ලැබි ඇති මෙම නවාගල පුරාණ විහාරයේ ඇති විස්මිත රහස් බොහොමයක් මේ දක්වා ජනතාව හමුවේ අනාවරණය වී නැත. එබැවින් ලක්ඉතිහාසයේ එන පරමාදර්ශී ස්ත්‍රී රත්නය වන විහාරමහා දේවිය සහ ලක් ඉතිහාසයෙන් සැඟව ගත් එතුමියගේ ලේලියක හා සබැඳියාවක් ඇති මෙම ඉපැරණි පුදබිම වෙත ඔබ කැඳවාගෙන යන මම ඒ සම්බන්ධ විස්මිත රහස් කිහිපයක් ඔබ හමුවේ මෙලෙස අනාවරණය කරමි.
ලක්දිව පළමු රාජධානියේ එනම් අනුරාධපුරයේ සුවිසල් ස්ථූප සියල්ල අනුරාධපුර ඇතුළු නුවරට සීමා වී තිබෙන බව වට වන්දනාවේ යන බොදු උවසු උවැසියෝ පවා දනිති. එහෙත් එහි ඇත්තේ අර්ධ සත්‍යයක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. ඊට හේතුව දැනට සිදු කොට ඇති පුරාවිද්‍යා ගවේෂණයන්ට
අනුව අනුරාධපුර ඇතුළු නුවරට පිටින් පිහිටි ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් ද සැලකිය යුතු තරම් බෞද්ධ සිද්ධස්ථාන හමුවී තිබිම ය. එහෙත්, එදා මෙදාතුර එවන් ප්‍රත්‍යන්ත ප්‍රදේශයකින් මෑත භාගයේ මතුවූ සුවිසල්ම දාගැබ මෙම නවාගල ස්ථූපයයි.
මතෛක් පස් ගොඩැල්ලක් වශයෙන් දක්නට ලැබුණු මෙම ස්ථූපයේ වත්මන් පිහිටීමට අනුව වට ප්‍රමාණය අඩි දෙසීය හැත්තෑ පහකි. ලම්භක උස අඩි හැටකි. පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව මගින් නවාගල ස්ථූපයේ කැණීම් ආරම්භ කරන ලද්දේ පසුගිය වසරේ මාර්තු හය වෙනිදාය. ඒ එහි කැණීම් කොටස් හෙවත් කාර්තු හතරකට වශයෙන් ස්ථූපය බෙදමිනි. මෙහි දී ස්ථූපය මතුපිට ගඩොල් කැබලි සහිත පිරවුම් පසක් දක්නට ලැබුණු අතර වට ප්‍රමාණයේ අඩි නවයක් පමණ ඇතුළට එම පස් සහ ගඩොල් කැබලි ඉවත් කරන ලදී. මෙම දාගැබේ මූලික ඉදිකිරීම හඳුනාගත හැකි වූයේ ඉන්පසුවය. එහිදී මෙය ඉතිහාසයේ යුග කිහිපයකදී කංචුක එකතු කරමින් විශාල කරන ලද ස්ථූපයක් බව පුරාවිද්‍යාඥයන් විසින් මුල්වරට හඳුනා ගන්නා ලදී. මෙහි මුලින්ම ඉදිකරන ලද ස්ථූපයට හානි සිදුවී නොතිබුණද දෙවන වරට ඉදිකරන ලද විශාල ස්ථූපයට නිදන් සොරුන් විසින් බරපතළ හානි පමුණුවා තිබිණි.
දෝනා හාරමින් එම ස්ථූපය තුළට රිංගා ගත් නිදන් සොරුන් එම ස්ථූප ගර්භයට සිදු කොට තිබූ හානිය දුටු අපගේ සිත් තුළට පිවිසියේ අති මහත් වේදනාවකි. අප රටේ එක්තරා යුගයක විසූ ශ්‍රේෂ්ඨ මිනිසුන් විසින් ජාතියට උරුම කළ මෙවන් මාහැඟි ජාතික උරුමයක් ඊට පසු කලෙක මෙරට බිහිවූ අධම පාපිෂ්ඨයන් විසින් වනසා ඇති අයුරු අපි ඇස් පනාපිටම දැක ගතිමු.
එහෙත් එවන් සුවිසල් විනාශයකින් පසුවද සංරක්ෂණසැලැස්ම සඳහා අවශ්‍ය සාදක ඉස්මතු කර ගනු පිණිස සිදු කරන ලද කැණීම්වලදී හමුවූ පුරාවස්තූන්ගේ ප්‍රමාණය සුළුපටු නොවිණි. ඒවායේ වැදගත්කම අනුව මෙම නවාගල ඓතිහාසික පුරාවිද්‍යාත්මක සහ ශාසනික උරුමයේ ‘පණනල’ තවමත් ශේෂව ඇති බවක් සිතා සැනසුම් සුසුම් හෙළීමට අපට හැකිවිය. ස්ථූපය තුළ ඇති ධාතු ගර්භ දහනවයක් තුළින් මතෛක් සොයාගත් නිදන් ද්‍රව්‍ය අතර අමිල වූ අගයකින් යුතු පුරාවස්තූන් බොහොමයක් විය.
පුරාවස්තුවක වටිනාකම සහ අගය තීරණය වනුයේ එහි පුරාවිද්‍යාත්මක පසුබිම අනුව මිස ව්‍යවහාරික රුපියල් සත අගය අනුව නොවේ. එහෙත් මෙම රහස සාමාන්‍ය ජනතාව සේම බොහෝ ජනමාධ්‍යවේදීන් ද දන්නා බවක් පෙනෙන්නට නැත. එනිසාම තවමත් මෙම පුරාවස්තූන් රුපියල් ලක්ෂ කෝටි ගණන් වටිනා බවට මිථ්‍යා මත සමාජය පුරා පැතිර යනු පෙනෙයි.
ස්ථූපයේ ධාතු ගර්භය තුළින් හමුවූ පුරාවස්තු අතර ගල් කරඬු හතක්, වීදුරු කරඬු දෙකක්, මැටි කරඬු පහක්, පළිඟු කරඬු දහයක් හා තඹ මිශ්‍රිත රන් කරඬු දෙකක් වේ. එක් ශිලා මංජුසාවක තැන්පත් කොට තිබූ අඟල් තුනයි දශම පහක පමණ ප්‍රමාණයෙන් යුතු තඹ මිශ්‍රිත රන් කරඬුව මෙම ස්ථූපයෙන් ලැබුණු අගනාම පුරාවස්තුවය. එප්පාවල, කටියාව හෝ නවාගල ඓතිහාසික, පුරා විද්‍යාත්මක හෝ ශාසනික වශයෙන් එතරම් වැදගත් නැතැයි ඔබ තවමත් සිතනු ඇත. එහෙත් මේ හා සමාන වටිනා පුරාවස්තුවක් මතෛක් ලැබි ඇත්තේ අනුරාධපුර රුවල්වැලි සෑ ස්ථූපයෙන් පමණි.
දුටුගැමුණු රජතුමන් විසින් තනවන ලද එම අසමසම ස්ථූපයේ නිදන් වස්තූන්වලට සමාන නිදන් වස්තුවක් නවාගල ස්ථූපය තුළින්ද හමුවීම දුටුගැමුණු රජුගේ මව වන විහාරමහා දේවිය සහ අග මෙහෙසියක වන කතිය කුමරිය සහ මෙම අප්‍රකට පුදබිම අතර ඇති සබැඳියාව කියාපාන නිහඬ සාක්ෂියක්ද ?
මෙම අනගි පුරාවස්තුවපුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන්ගේ අධීක්ෂණයට ද ලක්වූ අතර එහිදී ඔහු අවධාරණය කොට තිබුණේ මෙය කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබිමට තරම් යෝග්‍ය මහාර්ඝ පුරාවස්තුවක් බවය. ඉහත සඳහන් පුරාවස්තූනට අමතරව ස්ථූපවල ආකෘතින්වලට නිමවා ඇති නිල් පැහැති වීදුරු කරඬු ද මෙම ස්ථූපයෙන් සොයා ගෙන ඇත. ස්ථූපයක අංග වශයෙන් සැලකෙන පේසාව ගර්භය, හතරැස් කොටුව, කොත වෙන් වෙන්ව තනා ඒවා පසුව එකලස් කොට තිබිමද මෙම කරඬුවල විශේෂත්වයකි. එමෙන්ම මේ සඳහා යොදා ගැනුණු ද්‍රව්‍ය විදේශයකින් ආනයනය කළ ඒවා බවද පැහැදිලිය.
අනුරාධපුර ඇතුළුනුවර දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ප්‍රධානතම ස්ථූප හා සසඳන විට ප්‍රත්‍යන්ත ප්‍රදේශවල දක්නට ලැබෙන ස්ථූපවල එතරම් දියුණු ලක්ෂණ දක්නට නොලැබෙන බව ඒ පිළිබඳ විමර්ශකයන් තුළ පවා පවත්නා පොදු නිගමනයකි. එහෙත් එය මුළුමනින්ම අසත්‍යයක් බව තහවුරු කෙරෙන විදග්ධ කලා සම්ප්‍රදායනට අයත් කලා නිර්මාණ රාශියක් ද මෙම නවාගල ස්ථූපයෙන් හමුවී තිබේ.
පද්ම රටා මතු කළ ගඩොල්, බොරදම්ගල්, විමාන රූප යෙදූ කැටයම් පුවරු, හස්ථිවේදිය යැයි සැලකිය හැකි හස්ති රූප දේවතා රූප ඒ සඳහා කදිම සාක්ෂි කිහිපයකි. ඉහත සඳහන් කළ පුරාවිද්‍යාත්මකසාධක සහ මෙම ස්ථූපය හා සම්බන්ධ බොරදම් සහිත පේසාවන් අර්ධ මැණික්වලින් නිර්මිත පබළු, සෙරමික්, පින්තාරු කළ මැටි බඳුන් කැබලි ආදියෙන් පෙනී යන්නේ මෙම නවාගල ස්තූපය ද දුටුගැමුණු රජතුමන් විසින් තනවන ලද රුවන්වැලිසෑය, මිරිසවැටිය මෙන්ම විදග්ධ ශිල්පීය ලක්ෂණ සහිතව ඉදිකරවන ලද්දක් බවය. ඒ අනුවද මෙම නවාගල විහාරය විහාරමහා දේවිය හෝ දුටුගැමුණු රජුගේ අග මෙහෙසියක වූ කතිය කුමරිය සමග ජු සම්බන්ධතාවයක් ඇති බවට අප තුළ පවත්නා අනුමානය වඩාත් සවිමත් වනු නිසැකය.